7 - වසර (ලබ්බ සහ කැටය)
සිදුවූයේ විනාසයකි.එකට සිටි සෙට් එකම සුනුවිසුනු කර අලුත් පන්ති වලට දැම්මේ අපේ ජීවිත ආරක්ෂා කිරීමට වඩා පාසල ආරක්ෂා කර ගැනීමට විය හැක. 7 - ඊ පන්තියේ අලුත් සෙට් එක වූයේ ගයාන්, පුන්සිත්, ශිතිල, ඩිලාන් (කළුවා), සසික (පොඩි ඕමා), සසික (අමරසිංහ), ඉසුරු (YP), ලාලින්ද්‍ර, ඉමංග, රුචිර, විනෝද් (චතුරංග), කිරියා (සදීප), ශිලංක, දමිත්, සහ කේලාම් කියන කෙල්ලෝ සෙට් එකකි. පන්තිභාර විජේකෝන් ටීචර් මල ඇණයකි (ඇණ වාතයට නිරාවරණය වූ විට මල බැදේ, වලක්වා ගැනීමට නම් ගැල්වනයිස් කල යුතුය නැතිනම් පොල්තෙල් වල ගිල්වා තැබිය යුතුය). පන්තියේ එවුන් ටීචර් නැති වෙලාවට කෑගසනවාට ඇය දුන්නේ අපූරු විසදුමකි. ඇය උදේම කෑගසන ලමුන්ගේ නම් ලිවීමට කෙනෙක් පත් කරයි. එදා දවසම ඔහුට හෝ ඇයට ඇත්තේ කෑගසන්නාගේ නම ලියා, කෑගසන වාරයක් පාසා නමට ඉදිරියෙන් ඉරි කැබැල්ලක් ගැසීම පමණි. එක ඉරක වටිනාකම රුපියලකි. (ඉස්සර අපේ එවුන් කැන්ටිමෙන් පාන් කෑල්ලක් කෑවේ රුපියල් 5කට පමණය. පස් පාරක් කෑගැසුවොත් කාලා හමාරය) ඇය පහුවදා උදේම ගණන් එකතු කර පන්තියේ ඇති කැටය පුරවයි. පන්තියට කොසු, ඉදල් ගත්තේත් එදා වේල පිරිමසා ගත්තේත් මේ මුදල් වලිනි. අපේ එවුන් කෑගසනවාට වඩා බඩ ගැන හිතන නිසා පන්තිය සද්ද නැත.
කෙල්ලෝ සදාතනික කේලම් කරුවෝය. අපේ ටීචර්ට එදා ඉදන් කුනුහරප ඇලජික්ය. අපිට ඒක තේරුම් ගිය වැදගත් සිදුවීම මෙසේය. එදා නම් ලියන්නට පැවරී තිබුණේ කේලම් බඩ්ඩකටය.
"විනෝද් මොකද කෑගහන්නේ මම නම ලියනවා හරිද?" කේලම් බඩ්ඩ කීවාය.
"මොන මගුලක්ද ඕයි මම පොතක් ඉල්ල ගන්න කතා කලේ" විනෝද් කීය. පන්තියම ඒ කාලේ කෙල්ලොත් එක්ක මලය. උන් උඩ පැන පැන ටීචර්ට ගොට්ට අල්ලයි. කොල්ලන්ට ඒවා නොදිරවයි.
"මම දන්නේ නැහැ. තමුසේ ඒක ටීචර් එක්ක බලා ගන්නවා.." අපි ගණන් නොගන්නා නිසාම කෙල්ලටත් මලය.
"හරි තමුසෙත් ඕන ලබ්බක් කර ගන්නවා.." විනෝද් කීය. කෙල්ලගේ කට ඇරී ඇස් දෙක දෙපැත්තට ගියේය. ඒ ලබ්බට බයේය.
අපි දන්නා විදියට ලබ්බ වැදගත් වචනයකි. ගෙවල් හදනකොටත් ඉස්සෙල්ලාම එල්ලන්නේ ලබ්බකි (පුහුල් ගෙඩිය වුණත් ලබ්බ කියලා හිතමු). කෙල්ලන්ට ලබ්බ අකැපය. ඒ නිසාම විනෝද්ගේ නම ලියා ඉදිරියෙන් ඉරි කැබලි කිහිපයක්ම ගසා ඇත.
ටීචර් පන්තියට පැන්න විගස කරන්නේ නම් කොලය බලා කලෙක්ෂන් එක දැමීමය. කේලමී කොලය රැගෙන පහුවදා උදේම ටීචර් ලගය. ඇය කේලම් ගොට්ටම දිගහැර ඇවිත් හිදගත්තාය.
"විනොද් මෙහෙ එනවා." ටීචර් ඇමතීය. විනෝ ටීචර් ලගය. සද්ද නැත. සද්ද කරන්නටද බැරිය.
"තමුසෙ මොනාද මේ ලමයාට ලබ්බ කියලා තියෙන්නේ? මීට පස්සේ පන්තියේ කුණුහරප කීවොත් ගෙනියනවා ඔෆීස් එකට.
"ලබ්බ.. මම එල්ලවා තමුසෙගේ ලබ්බ කරේ..." පන්තිය සද්ද නැත. කෙල්ලට මෙන්ම ටීචර්ටත් (ටීචර්ට ලමයි පෝලිමක් හිටියා මට මතකය, ඇය ලබ්බට බය ඒනිසාදැයි සැක සහිතය) ලබ්බ අකැපය. ලබ්බ විතරක් නෙවේ හැම කුණුහරපයක්ම අකැප බව අපට වැටහිණ.
දිනපතා කෑගැසීම් සිදුවන නිසා කැටයේ දැන් ඉඩ නැත. තරහකාරයෙක්ට නම ලියන්න සෙට් වුනොත් ඉවරය. හුස්ම ගත්තත් හේ නම ලියයි. ටීචරුත් අපට වඩා කැටයට ආදරේය. පන්තියේ බඩුමුට්ටු වලට වඩා ඇය කැටයට ආදරේය. ඇයට කැටේ හීනෙනුත් පේනවා ඇත. අපේ එවුන්ට කැටේ පේන්න බැරිය. ඒ තරමට බයය. කැටේට ඇති ආලය නිසා ටීචර් කැටේ සවසට කබට් එකේ දමා යයි. ඒකට වෙනම ලොක් එකක් ඇත. යතුරද ටීචර් ගේ හැට්ටය අස්සේය. (තංගල්ලේ බැංකුවේ දැම්මා සේය). හවස ගෙදර යන්න කලිනුත් ටීචර් පන්තියටම පැමිණ කබඩ් එක ලොක් දැයි බලා පිටවේ. මුළු 7 වසරම අපේ කැටය ගැන දනී.
දවසක් උදේම ටීචර් පන්තියට ආවේ කෑගහපු ලිස්ට් එක බලා ගණන් හිලව් බේරීමටය. ඇය උගන්වනවාට වඩා කලේ මුදලාලි ජොබ් එකකි. කැන්ටිමේ ඩිස්කන් අයියාත් කලේ එවැනිම ජොබකි. කලින් දවසේ නම් ලිවීමට තිබුණේ මටය. එදා උදේම ලිස්එක අරගෙන මම ටීචර් ලගය.
"ඊයේ වැඩිය කට්ටිය කෑගහලා නැහැනේ. දෙතුන් දෙනයි කෑගහලා තියෙන්නේ" ඇය ලිස්ට් එක බලමින් කියයි. කස්ටිය සද්ද නැති වුණත් ටීචර්ට පාඩුය.
"පුතා ගන්න බලන්න කබඩ් එකේ තියෙන කැටේ," ටීචර් අස්සට අත දමා යතුර දුන්නාය. මම ඇගිලි දෙකින් යතුර අල්ලා කබඩ් එක ලගට ගියෙමි.
"ටීචර් මාර වැඩේ, යතුර කරකවන්න කලින් ඉබ්බා ඇරුණා" මට හිතා ගන්න බැරි විය. ඉබ්බා කැස්බෑවා වී ඇත.
"ඒක කොහෙමද වෙන්නේ? අපි ඊයේ ලොක් කරලනේ ගියේ. බලන්න කැටේ නැද්ද කියලා" ටීචර් අඩියට දෙකට කබඩ් එක ලගය. කැටේ නැත. කරන්නට දෙයක් නැත. ටීචර්ට හීන් දාඩිය දමා ඇත. අපේ එවුන්ටත් හිතා ගත නොහැකිව උඩ බලා සිටිති.
"මේක අපි සර්ට ගිහින් කියමු. යකාගේ වැඩක් නේ පන්තියෙ තිබ්බ කැටේ නැහැ. තමුසෙලා දැන් බලනකන් කබඩ් එක කඩලා කියලාවත් දන්නේ නැහැ. මරු ආ..."
ටීචර් මාවත් ඇදගෙන පිනා ලගට ගොස් කේස් එක ෆයිල් කෙරින, එදායින් පසු කැටත් නැත, පන්තියේ සද්දත් නැත. ටීචර්ගේ කැටේට වෙච්ච දේ තවමත් අභිරහසකි.
 |
ටීචර්ගේ කැටේට වෙච්ච දේ තවමත් අභිරහසකි. |
සෑමාගේ බ්ලොගය -
http://samindikasrimantha.blogspot.com/2011/09/grade-6-to-10.html
තමංගේ චූටි කාලේ ගැන
බ්ලොග් ලෝකයට චූටි ඒකෙක් වූ
සෑම ලියාපු කතාවයි මේ....
සෑමාගේ ඒකම ඒක යාලුවෙක් හැර
කවුරුත් කමෙන්ටු කොටා නැති,
අද බ්ලොග් ලෝකයේ සිටිනා බහුතරය
දැක නැති, මෙය තමයි
සෑමාගේ 05 වැනි පෝස්ටුව ....................